ඔබේ හැසිරීම වෙනස් විය යුතු බව පිළිගැනීමට විශාල සවියක් අවශ්‍ය වේ.
හොඳම පිරිමියෙක්, සහකරුවෙක්, පියෙක් හෝ පවුලේ සාමාජිකයෙකු බවට පත්වීම සඳහා ඔබ යන ගමනේදී අපට ඔබ වෙනුවෙන් උදව් කළ හැකි ආකාරය මෙම පිටුවෙන් පැහැදිලි කරයි.
ඔබ ඔබෙන්ම මෙසේ අසන්න:
- මා කවදා හෝ පවුලේ සාමාජිකයෙකුට කෑ ගසා හෝ උස් හඬින් කෑ ගසා තිබේද?
- මා කවදා හෝ පවුලේ සාමාජිකයෙකුට පහර දීම, කම්මුලට ගැසීම, පයින් ගැසීම, තල්ලු කිරීම හෝ තෙරපීම සිදුකර තිබේද – නැතහොත් එසේ කිරීමට තර්ජනය කර තිබේද?
- මා කවදා හෝ පවුලේ සාමාජිකයෙකුට නරක හෝ රළු පරුෂ නම්වලින් කතා කර තිබේද? මා ඔවුන්ව නිරන්තරයෙන් විවේචනය කරනවාද?
- මා කවදා හෝ මගේ සහකරු තම ප්‍රයෝජනය සඳහා මුදල් වියදම් කිරීම වළක්වා තිබේද?
- මා කවදා හෝ පවුලේ සාමාජිකයෙකු බිය ගන්වා තිබේද?
- මා කවදා හෝ පවුලේ සාමාජිකයෙකු ඉදිරිපිට හෝ පවුලේ සාමාජිකයෙකු වෙත වීදුරුවක්, පුටුවක් හෝ රූපවාහිනී දුරස්ථ පාලකයක් වැනි දෙයක් විසි කර තිබේද?
- මා කවදා හෝ මගේ සහකරුට ඔවුන් අකමැති ලිංගික ක්‍රියාවක් කිරීමට බලපෑම් කර තිබේද?
- මා කවදා හෝ මගේ සහකරුට ඔවුන් කිරීමට කැමති දෙයක් කිරීම නැවැත්වීමට උත්සාහ කර තිබේද? (උදාහරණයක් ලෙස, මිතුරන් සමඟ පිටතට යාම, රැකියාවක් කිරීම, යම් අධ්‍යාපන කටයුත්තක නියුතු වීම)
- මා කවදා හෝ මගේ LGBTIQA+ සහකරුට තර්ජනය කර තිබේද?
ඔබ මෙම ප්‍රශ්නවලින් එකකට හෝ වැඩි ගණනකට ඔව් යනුවෙන් පිළිතුරු දුන්නේ නම්, පහත දැක්වෙන අපගේ සේවාවන් ඔබට උපකාරී විය හැකිය.
පිරිමින් සඳහා යොමු කිරීමේ සේවාව (Men’s Referral Service)– 1300 766 491
වසරේ දින 365 තුළ පැය 24 පුරාම ලබා ගත හැකිය
පිරිමින් සඳහා යොමු කිරීමේ සේවාව (MRS) මඟින් ඔබේ ප්‍රදේශයේ තිබෙන හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන්, දෙමාපිය කටයුතු සම්බන්ධ වැඩසටහන්, මත්පැන් හා අනෙකුත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැඩසටහන්, සෞඛ්‍ය සහාය හා නවාතැන් සේවා පිළිබඳ උපදේශන සහ තොරතුරු ඔබට ලබා දිය හැකිය.
මෙම සේවාව වසර පුරා, සතියේ දින හතේම පැය 24 තුළ ලබා ගත හැකිය – එබැවින් ඔබට අවශ්‍ය විටෙකදී උපකාර ලබා ගත හැකිය.
පිරිමින් සඳහා යොමු කිරීමේ සේවාව මගින් සහාය ලබා දෙන්නේ කා හටද?
- අපවාදාත්මක ලෙස හැසිරුන හෝ හැසිරෙමින් සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ තම හැසිරීම වෙනස් කර ගැනීමට.
- පිරිමියෙකුගේ අපයෝජන හැසිරීම් වලින් බලපෑමට ලක් වූ පවුලේ සාමාජිකයන්.
- හිංසනය භාවිතා කළ හැකි, හෝ ගෘහස්ථ සහ පවුල් හිංසනය අත්විඳිය හැකි පුද්ගලයින්ට සහාය වන්නේ කෙසේදැයි තේරුම් ගැනීමට කැමති ඔවුන්ගේ මිතුරන්, පවුලේ අය හෝ සගයන්.
- හිංසනය භාවිතා කරන හෝ අත්විඳින සේවාදායකයෙකුට සහාය වීමට කැමති වෘත්තිකයන්.
ඔබ පිරිමින් සඳහා යොමු කිරීමේ සේවාව අමතන විට:
- ඔබට නිර්නාමිකව සිටිය හැකිය
- ඔබට සවන් දෙන අතර ඔබට ගෞරවයෙන් සලකනු ලැබේ
- ඔබේ හැසිරීම වෙනස් කිරීමට ඔබ ගන්නා ඊළඟ පියවරයන් සඳහා උපකාරී විය හැකි ප්‍රාදේශීය සේවාවන් පිළිබඳ තොරතුරු ඔබට ලැබෙනු ඇත.
සහාය ලබා ගැනීමට 1300 766 491 අමතන්න. සේවාව සමඟ සන්නිවේදනය කිරීම සඳහා ඔබට නොමිලේ පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව (TIS National) හෝ අපගේ වෙබ් චැට් භාවිතා කළ හැකිය.
කෙටි මැදිහත්වීමේ සේවාව
කෙටි මැදිහත්වීමේ සේවාව (Brief Intervention Service, BIS) යනු ඔබ පිරිමින්ගේ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහනකට ප්‍රවේශ වීමට අවස්ථාව එන තෙක් බලා සිටින්නේ නම්, ඔබට උපකාර ලබාගත හැකි ජාතික දුරකථන උපදේශන වැඩසටහනකි. ඔබ ජීවත් වන ස්ථානයේ වැඩසටහනක් නොමැති නම්, හෝ ඔබ ඉංග්‍රීසි භාෂාව කතා නොකරන්නේ නම්, එමගින් උපකාර ලබා ගැනීමට ද හැකිය.
කෙටි මැදිහත්වීමේ සේවාව කෙටි කාලීන දුරකථන සහාය වැඩසටහනක් වන අතර එය සැසි ගණනාවක් පුරා පැවැත් වේ. වැඩසටහන ඔබට උපකාරී විය හැක්කේ:
- ඔබගේ හැසිරීම වටහා ගැනීමට
- ඔබේ හැසිරීම වෙනුවෙන් වගකීම භාර ගැනීමට ඔබට ඉගෙන ගත හැකි ආකාරය ගවේෂණය කිරීමට
- ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සබඳතා ඇති කර ගැනීම සහ ආරක්ෂිත පවුල් ගොඩනඟා ගැනීම සඳහා නව ක්‍රමවේදයන් ඉගෙන ගැනීමට.
ඔබ කෙටි මැදිහත්වීමේ සේවාවට ප්‍රවේශ වීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබට පළමුවෙන්ම 1300 766 491 ඔස්සේ පිරිමින් සඳහා යොමු කිරීමේ සේවාව ඇමතීමට අවශ්‍ය වනු ඇත. උපදේශකයෙකු ඔබේ කතාවට සවන් දී ඉන්පසුව කෙටි මැදිහත්වීමේ සේවාවට ප්‍රවේශ වීමට ඔබට උපකාර කරනු ඇත.
සේවාව සමඟ සන්නිවේදනය කිරීම සඳහා ඔබට නොමිලේ පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව (TIS National) හෝ අපගේ වෙබ් චැට් භාවිතා කළ හැකිය.
ඔබේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය
පිරිමින් සඳහා යොමු කිරීමේ සේවාව සහ කෙටි මැදිහත්වීමේ සේවාව No to Violence (NTV) ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වන සහ ඒවා භාවිතා කරන සියලුම පුද්ගලයින්ගේ උසස් තත්වයේ සේවාවක් සැපයීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට No to Violence කැපවී සිටී.
Privacy Act 1988 (Cth) (1988 රහස්‍යතා පනත) යටතේ, No to Violence විසින් ඔබගේ පුද්ගලික තොරතුරු අප විසින් භාවිතා කරන ආකාරය පිළිබඳ තොරතුරු ඔබට ලබාදිය යුතුය. ඔබගේ ආරක්ෂාව හෝ අන් අයගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් නොමැති නම්, හෝ මෙම තොරතුරු බෙදා ගැනීමට අපට නීතිමය අවශ්‍යතාවයක් නොමැති නම්, ඔබගේ තොරතුරු පුද්ගලික සහ රහසිගතව තබා ගනු ලැබේ.
ඔබ අප සමඟ සම්බන්ධ වන අවස්ථාවේ දී, අපට ඔබ වෙනුවෙන් උදව් කිරීමට හැකි වන පරිදි ඔබගේ පුද්ගලික තොරතුරු භාවිතා කිරීමට අවසරය ලබා දෙනවාදැයි ඔබෙන් අසනු ඇත. අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වන පුද්ගලයන් පිළිබඳ සාමාන්‍ය තොරතුරු -උදාහරණයක් ලෙස, එක් එක් ප්‍රාන්තයෙන් හෝ බල ප්‍රදේශයෙන් අපව අමතන පුද්ගලයින් සංඛ්‍යාව – පර්යේෂණ හා වාර්තා කිරීම සඳහා භාවිතා කළ හැකිය. ඔබගේ ඇමතුම පටිගත කරනු ලබන අතර ගුණාත්මක හා පුහුණු අරමුණු සඳහා භාවිතා කළ හැකිය.
ඔබගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීම සඳහා කරුණාකර https://ntv.org.au/about-us/privacy/ වෙත පිවිසෙන්න. ප්‍රතිපෝෂණ ලබා දෙන ආකාරය හෝ පැමිණිල්ලක් සිදු කරන ආකාරය පිළිබඳ තොරතුරු ද ඔබට සොයාගත හැකිය.
පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවාව (TIS National) වෙත ප්‍රවේශ වන්නේ කෙසේද?
ඔබ ඉංග්‍රීසි කතා කළ නොහැකි නම් සහ පිරිමින් සඳහා යොමු කිරීමේ සේවාව සමඟ සන්නිවේදනය කිරීමට අවශ්‍ය නම්, නොමිලේ සැපයෙන සේවාවක් වන පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව (TIS National) මගින් ඔබට උපකාර කළ හැකිය.
පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවාව භාවිතා කිරීමට:
- ඔබගේ දුරකථනයෙන් 131 450 අමතන්න
- ඔබට අවශ්‍ය කරන භාෂාව දුරකතන ක්‍රියාකරුට පවසන්න
- ඔබට අවශ්‍ය නම්, භාෂණ පරිවර්තකයා සඳහා ඔබ කැමති ලිංග භේදයක් තෝරා ගන්න (එය ලබා ගත හැකි නම්).
පිරිමින් සඳහා යොමු කිරීමේ සේවාව සමඟ සන්නිවේදනය කිරීමට ඔබට උපකාරී වීම සඳහා, ක්‍රියාකරු ඔබේ භාෂාව කතා කරන භාෂණ පරිවර්තකයෙකු සමඟ ඔබව සම්බන්ධ කරනු ඇත.
ඔබේ සංවාදය විනාඩි 30 කට වඩා දිගු වේයැයි ඔබ සිතන්නේ නම්, කරුණාකර පරිවර්තකයාට දන්වන්න. එවිට ඔබට ඔවුන්ට ඔවුන් වෙතින් දිගු කාලයක් වෙන්කරවා ගත හැකිය.
වෙබ් චැට්
ඔබ මාර්ගගත පෝරමයක් භාවිතයෙන් උපදේශකයෙකු සමඟ කතා කිරීමට කැමති නම්, ඔබට අපගේ Men’s Referral Service webchat වෙත ප්‍රවේශ විය හැකිය.
ඔබ සබැඳිය ක්ලික් කළ පසු, වෙබ් චැට් පෝරමය වෙබ් පිටුව මත ස්වයංක්‍රීයව විවෘත වේ. ඔබගේ විස්තර ඇතුළත් කර සේවාවෙන් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් රැඳී සිටින්න.
අපගේ වෙබ් චැට් ලබාගත හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව කරුණාවෙන් සලකන්න. ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමට සහ ලිවීමට හැකි නම්, ඔබට මෙය සුදුසු විකල්පයක් විය හැකිය.
පරිවර්තනය කරන ලද මෙම වෙබ් පිටුව සහ මෙහි ලැයිස්තුගත කර ඇති සේවාවන් සඳහා ඔස්ට්‍රේලියානු රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සපයනු ලබයි.